කවයේ මායිම්

දුවටයි පුතාටයි දෙන්නටම විභාග කිට්ටු නිසා මේ දවස්වල අපෙ ගෙදර ජීවිතේ හොඳටම වෙනස්. වෙනදා වගේ හවසට රේඩියෝ, ටෙලිවිශන් සද්ද නෑ, ගෙදර හිටියත් දෙන්නා තම තමාගෙ කාමරවලින් එලියට ආවේ කෑමට විතරයි. වෙනදා විහිළුවෙන්ම කාලේ ගෙවන සිරිනී මේ දවස්වල සම්පූර්නෙන්ම පාඩමටයි සිත යොමුකරලා තියෙන්නේ. නිලංත විශ්වවිද්යාලෙන් ගෙදර ආවේ හොඳටම රෑවෙලා. මේ දවස්වල කමලගෙ ඉස්කෝලේ අවුරුදු අවසානේ වැඩත් වැඩිනිසා මට වෙනදට වඩා ගෙදර වැඩ කරන්න සිද්දවුනා. ගෙදරත් ගේ අවටත් පිරිසිදුව තබා ගැනීම, වෙළඳ පොළෙන් ගෙදරට අවශ්ය දේ මිලදී ගැනීම, කෑම ලෑස්ති කිරීම වැනි දේ වලින් වැඩි කොටසක් බාරවුනේ මටයි.

මේ දවස්වල අපි කෑමට කැප කරන වෙලාව බොහොම අඩුයි - කෑමෙන් පස්සේ මේසේ වටේ ඇතිවෙන සතුටු සාමීචිය නැත්තටම නැතිවෙලා. කෑම ගැන මැසිවිලිත් වෙනදට වඩා අඩුයි. මම ලෑස්ති කරන කෑමවත් විවේචනය නොවුනේ කෑම ඇඟට මිස හිතට දැනුනෙ නැති නිසා කියලයි මට හිතුනේ.

“ඔයා දැන් මාසෙකින් විතර මාමලා බලන්න ගියෙ නෑ නේද?”

කමලා මගෙන් ඇහුවේ සිකුරාදා හවසයි. අනික් සතියේ දවස් වගේ නෙවෙයි සිකුරාදා අපි හවස වාඩිවෙලා තේ බොනවා - පැයක් විතර සතියේ සිද්දවූ දේ ගැන කතා කර කර.

“එච්චර කල්ද? විභාග ඉවරවුනාම ගිහින් එමු”

“විභාගයි ඉස්කෝලෙයි ඉවරවෙනකම් හිටියොත් තව සති තුන හතරක් වෙනවා. ඇයි අජිත් වීකෙන්ඩ් එකට ගිහින් එන්නෙ නැත්තේ… දැන් සති කීපයක්ම ගෙදරදොරේ වැඩ කළනිසා මං මේ ඔයාට දෙන්නේ නිවාඩුවක්!”

“තැන්ක්යූ බොස්! බොස්ට තව වැඩ තියෙනවානම් කියන පමාව විතරයි - සපත්තු මදින්න ඕනද? කොන්ඩේ පීරන්න? දිවෙන් බිම සුද්ද කරන්න?... ”

“ඇති ඇති! හොඳක් කරන්න ගියාට ගුනේ නෑ! - දැන් මට තේරෙනවා අපෙ රිනී කට කැඩිච්ච කතා ඉගෙනගන්නේ කොහෙන්ද කියලා! – ඇත්තටම ඇයි ගිහින් එන්නෙ නැත්තේ?”

“… අයියට කතා කරලා බලන්නං…. හැබෑට මාමා එහෙම කොහොමද කියලා බැලුවොත් හොඳ තමා…”

“මේ කාලෙට දෙල් තියෙනවද දන්නෙ නෑ…”

“හඃ - නිවාඩුවට හේතුව!”

………………………..

“මට නිකමට හිතුනා අද පුතාලා එයි කියලා! මොකද දුව එහෙම ආවෙ නැත්තේ?”

“අනේ නැන්දා ඉස්කෝලේ වැඩ වැඩියි නේ අවුරුද්ද අන්තිමට. ඒත් එක්ක පොඩ්ඩෝ දෙන්නටම විභාග - දැන් කෑමට බීමටත් වෙලා නෑ වගේ!”

“හැබෑට දුවට උසස් පෙල නේද? කොහොමද ඉස්කෝලේ වැඩ? - මං හිතන්නේ කටකාරී උනාට වැඩට දක්සයි!”

“පාස් වෙන එකම නෙවෙයිනේ නැන්දා දැන් - හොඳටම උඩින් හිටියෙ නැත්තං යුනිවසිටි පැත්ත පලාතේ යන්න හම්බවෙන්නෙ නෑ!”

“අනේ මන්දා - දෙයියන්ගෙ පිහිටෙන් බැරිවෙන්නෙ නෑ… ගුනපාල….. ගුනපාල…. කේතලේ!”

“කෝ මාමා එහෙම? වත්ත පැත්තේ ගියාද?”

“දැන් ඉතින් මොකද - ලොක්කා ඉන්නවානේ! ඒක හිතට හරි හයියක් පුතා - දැන් ඇඟේ පතේ අමාරුකමුත් අඩුයි වගේ - ඕන් අප්පච්චියි පුතයි දැනුත් ගෙපල බලන්ට ගියා; ලොක්කා ගෙදරක් හදන එක ගැන ආයෙත් හිතනවා වගේ…. අර රත්නායක දරුවා බලන්ටත් කීප සැරයක් ගියා…”

නැන්දට හරිම සතුටුයි වගේ අයියගෙ නර්ස් නෝනා ගැන.

“මාත් ගෙපල පැත්තේ ගිහින් එන්නං නැන්දා - ඇවිත් තේ එකක් බොමු”

නැන්දා කතා කරපු හැටියට මාමට කිසි අසනීපයක් නෑ වගේ. මං හිතන්නේ අයියා ගෙදර ඉන්න එක මාමගෙ අසනීප වලට එක වටිනා ඖෂදයක්. අයියගෙයි ඉන්දිරා රත්නායක නර්ස් නෝනගෙයි අළුත් සම්බන්දේ මාමටයි නැන්දටයි දෙන්නටම ලැබුන අවුරුදු තෑග්ගක් වගේ. කාලෙකට පස්සේ තුන් දෙනාම සතුටෙන් ඉන්න බවයි මට පෙනෙන්නේ.

ඒ වගේම අයියටයි මාමටයි අපෙ හීලෑ දෙවියන්ගෙමුත් අවවාද අනුශාසනා ලැබෙනවා ඇති. අප්පුහාමී මාමගෙ ලෙඩ සුව කල හැටි මට අමතක වෙන්නෙ නෑ. අප්පුහාමී කොයි තරම් මනෝවිද්යාවට මූලිකත්වය දීලා කතා කලත් මට හොදටම විශ්වාසයි මාමගෙ ලෙඩ සුවකලේ අප්පුහාමී කියලා. ඒ නිසා, මම අප්පුහාමිට කෘතඥ වෙනවා, පැකිලීමක් හෝ කොන්දේසියක් රහිතව. දෙවියන් නොඅදහන අදේවවාදික මට ඒක ලේසි නෑ!

කමලාගේ කීමට මම මේ සැරේ ගමේ ආවත් මගෙ යටි හිතේ අදහසක් තිබුනා අප්පුහාමී දෙවියෝ ගැන තව ටිකක් ඉගෙනගන්න. ඒකට එක හේතුවක්වුනේ යම් දවසක අඩුමගානේ නිලංතටවත් අප්පුහාමී හඳුනාදෙන්න මගේ තිබුන ආශාවයි. ගිය සැරේ මම මේ අදහස ඉදිරිපත්කල වෙලාවේ අයියා කිව්වේ ඒ ප්රශ්න ටිකක් කල් දාමු කියලා - මාමගෙ ලෙඩ සුවවූ විදිහ සොයා ගන්නතුරු. ලෙඩ සුවවීමේ ප්රශ්නය අප්පුහාමීම පැහැදිලිව තෝරලා බේරලා දුන් නිසා මගේ ප්රශ්නය ඉදිරිපත් කරන්න වෙලාව හොඳ බවයි මට දැනුනේ.

මම ගෙපල ලඟට යනකොට මාමයි අයියයි ගෙපල අයිනේ තලගහ යට ගල උඩ වාඩිවෙලා ගෙදර ප්ලෑන දිගහැරගෙන හිටියේ. සිතියම අකුලලා පැත්තකින් තියලා මට වාඩිවෙන්න ඉඩක් හදා දීලයි දෙන්නා මට කතාකලේ.

“හා පුතා! ඇවිත් හුඟක් වෙලාද?”

“මලයා අතේ බීඩියක් නැද්ද?”

මම අයියට සිගරැට් එකක් දීල ගල උඩ වාඩි නොවී ගෙපල වටේ ඇවිද්දා.

“මේ කොනේ බැල්කනියක් දාන්නද හිතුවේ - තල ගහ ලඟින්?”

“තවම ඒවා හිතුවෙ නෑ - ඉස්සරවෙලා බලනවා මොන සයිස් ගෙදරක්ද හදන්නේ කියලා…”

මාමටයි මටයි දෙන්නටම තේරෙනවා මේ වගේ තීරන ගන්න ඉන්දිරා නැතුව බෑ කියලා. අනික් අතට, අයියගෙයි ඉන්දිරාගෙයි සම්බන්දේ දිගටම පැවතුනොත් විතරයි මෙහෙම තීරන ගැන හිතන්න වෙන්නෙ. අපි දෙන්නම ඒ මාතෘකාව අතෑරියේ අයියා ඉස්සරවෙලා යමක් කිව්වොත් විතරයි අපිට යමක් කියන්න පුළුවන් වෙන්නේ කියලා දන්න නිසා.

“පොඩි දෙන්නටම විභාග නේද? කවද්ද ඉවරවෙන්නේ?”

මම මාමගෙ ප්රශ්නෙට උත්තර දුන්නේ මාතෘකාව වෙනස් කරන්න ලේසි එන විදිහටයි.

“තව සති තුන හතරක් තියෙනවා මාමා - ඒකයි මටත් එන්නවත් බැරිවුනේ. කමලටත් ඉස්කෝලේ වැඩ වැඩියිනේ, මේ කාලෙට”

“ඔවු ඉතින් ඉස්කෝල එහෙම තමයි”

මාමා විශ්රාම අරගෙන අවුරුදු ගානක් ගියත් තවම ඉස්කෝල විභාග/නිවාඩු කාල ගැන එහෙම හොඳින් දන්නවා - ගමේ ඉස්කෝලෙත් එක්ක කිට්ටු සම්බන්දයක් තියෙන නිසා.

“විභාග එහෙම ඉවරවුනාම ඇයි සතියකට විතර මෙහෙ ඇවිත් ඉන්නෙ නැත්තේ? පොඩ්ඩො දෙන්නට වගේම මලයටයි නංගිටයිත් නිවාඩුවක් ඕන ඇති නේ?”

“ඒකනම් ඇත්ත අයියා! මේ දවස්වල ගෙදර පිස්සන් කොටුවක්! වෙලාවට කෑමක් බීමක් තියා නෑමක් නින්දක් එහෙමත් නෑ! අපෙ කාලේ වගේ නෙවෙයි දැන්…. බලමුකෝ…”

“නිලංත කිව්වා නේද ආයෙත් එනවා කියලා - අර කොළදිමට ආපු දවස්වල?”

මේක මට හොඳම අවස්තාව මගෙ හිතේ තිබුන දේ එලියට ගන්න.

“ඔවු මාමා - මිනිහට ගම හොඳටම හිතට අල්ලලා …. තව එකක් …. මං අහන්නත් හිටියේ … යම් දවසක අඩුම ගානේ නිලංතටවත් අප්පුහාමී මුනගස්සන්න… “

“හ්ම්… පුතා ඕක එකසැරේකුත් ඇහුවා මට මතකයි. අපි ඒක කල් දැම්මා නේද අර ඉස්පිරිතාල හුටපටේ හින්දා?”

“ඔවු අප්පච්චී - මලයා ඕක අහනකොට මමයි කිව්වේ අප්පච්චිගෙ ලෙඩේ හොඳවුන හැටි අහගත්තැන් පස්සේ බලමු කියලා … හැබැයි ඉස්සරවෙලා අප්පුහාමිගෙන් අහලා ඉන්න වෙයි නේද?”

“අපොයි ඔවු - දැනට අප්පුහාමී කතා කරන්නේ අපි තුන්දෙනාට විතරයි - අපි දන්න තරමට. අළුතෙන් කෙනෙක් හඳුන්වාදෙන්න ඉස්සර අපි එයාගෙන් අහන එක තමා හරි අචාරශීලී හැසිරීම. මොක උනත්, අපි නම්බුකාර විදිහට හැසිරුනේ නැත්තම් වෙන කවුරුත් එහෙම හැසිරෙයි කියලා අපි බලාපොරොත්තුවක් තියාගන්න බෑ”

අපි තුන්දෙනාම ඒ වෙලාවේ එකඟවුනේ අප්පුහාමිට මගෙ ප්රශ්නය ඉදිරිපත්කරලා එයාගෙ උත්තරේ අනුව කටයුතු කරන්නයි.

………………………………..

“අජිත් මහත්තයගෙ වචනෙන්ම කියනවද මාත් එක්ක කතාකරගන්න තියෙන්නේ මොකද්ද කියලා?”

අද අපි තුන්දෙනා අප්පුහාමී හමුවෙන්න ආවේ ඉර බහින්න ඉස්සර - වෙනදා වගේ රෑ යාමේ නෙවෙයි. ඒ නිසා වෙන්න ඇති අප්පුහාමී පෙනුමෙන් ටිකිරිබංඩා වගේ ආවේ කොකෝ අරඹේ ගල ලඟට, වෙනදා හමුවෙන බෝක්කුව ලඟ නොනැවතී. මාමායි අයියයි ගල උඩත් මම වැටී තිබුන කොකෝ කඳක් උඩත් වාඩිවෙලා හිටියේ වාඩි නොවී කොකෝ ගහකට හේත්තුවෙලා ඉන්න අප්පුහාමී/ටිකිරිබංඩා දිහා බලාගෙනයි. අප්පුහාමී හිටගෙන ඉන්න තීරණේ කලේ ටිකිරිබංඩා කිසි දවසක මාමා ඉදිරිපිට වාඩි නොවෙන නිසා වෙන්න ඇති. අප්පුහාමිගෙ ප්රශ්නෙට උත්තර දෙන්න කලින් මම ටිකක් කල්පනා කරා මොන විදිහටද පටන්ගන්නේ කියලා.

“මේකයි කතාව… අප්පුහාමී මුණගැහුන පලවෙනි දවසේ ඉඳන් මාමගෙ ලෙඩ සනීප වෙනකන් මම අප්පුහාමී ගැන නිතරම හිතුවා. අප්පුහාමිගෙ හැකියාවන් ගැන පුදුම උනා වගේම බයකුත් ඇතිවුනා - දුටුව/සිද්දවුන දේ මට නම් කොහෙත්ම පිලිගන්න බැරි නිසා. මගෙ අවිශ්වාසයට හේතුව ඔබතුමාමයි මට පැහැදිලි කරලා දුන්නේ - ‘මහත්තයගෙ අද්යාපනේ අඩුපාඩු ගැන මට කරන්න දෙයක් නෑ!’ කියලා …. මට ඇත්තටම අහන්න ඕන ප්රශ්නේ තමා මගෙ පුතා නිලංතට ඔබතුමා මුණගස්වන්න පුළුවන්ද කියලා …… නමුත් …. ඊට ඉස්සරවෙලා, මුල ඉඳලා පටන්ගත්තොත් ….. මට කියනවද - ඇයි ඔබතුමා මට පෙනී ඉඳලා කතා කරේ; පලවෙනි සැරේ?”

“කාලෙකට පස්සේ කාටවත් කතා කරන්න හිතුන නිසා”

“කාලෙකට පස්සේ කියන්නේ කොච්චර කාලෙකට පස්සෙද?”

“අවුරුදු හතලිහක් … මං මහත්තයට එදත් කිව්වා”

“… මගෙ මතකේ අප්පුහාමිගෙ මතකේ තරම් හොඳ නෑ…. අවුරුදු හතලිහක් මේ පාරේ කොයිතරම් මිනිස්සු යන්න ඇද්ද? ඇයි මම?”

“එක - ටිකිරිබංඩා වගේ කෙනෙකුට වැඩිය මහත්තයා ටිකක් ඉන්ටරස්ටිං; දෙක - මහත්තයා හිටියේ මගෙ බෝක්කුව උඩ! ; තුන - මහත්තයට තිබුන කරාඹු මුදලාලිගෙ ප්රශ්නෙට වෙන කාටවත් මං දීපු විසඳුම දෙන්න බෑ!”

“ප්රශ්න තියෙන ඉන්ටරස්ටිං මිනිස්සු කීදෙනෙකුට දැන් පෙනී ඉඳලා කතා කරනවද?”

“ඔය තුන්දෙනා විතරයි”

මාමටත් හිතුනා ප්රශ්නයක් අහන්න.

“මොකද්ද අපෙ පවුලේ තියෙන වැදගත් කම?”

“මගෙ ගහට කිට්ටුවම තියෙන ගෙදර මහත්තයාලගෙ…. බුද්ධිමත්, උගත් අය වීම තමා දෙවෙනි උපමානය”

මම බලාගෙන හිටියේ මේ වගේ අවස්ථාවක් බලාපොරොත්තුවෙනුයි.

“තව බුද්ධිමත් උගත් කෙනෙක්, මගෙ පුතා, හමුවෙන්න කැමතිද?”

අප්පුහාමී මා දිහා බැලුවේ අමුතු විදිහකට - මෝඩ ප්රශ්නයක් අහන දක්ෂ ශිෂ්යයෙක් දිහා ගුරුවරයෙක් බලන විදිහට.

“මගෙ තුන්දෙනා හරි”

“ඒ කිව්වේ?”

“ඔබතුමාලා තුන්දෙනාම මගෙ අනුග්රාහකයෝ - මට ඊට වැඩිය බෑ”

“ඔය කියන්නේ එක දෙවි කෙනෙකුට, අප්පුහාමිගෙ වචනෙන් ‘අනුග්රාහකයෝ’ තුන් දෙනෙකුට වැඩිය ඉන්න බැරිද?”

“මගෙ ලෙවල් එකේ දෙවියෙකුට … ඔවු!”

“… ලෙවල් එක….? …. දෙවියන්ගෙ ධූරාවලියක්….?”

“ලොකුමහත්තයා හිතුවේ අපි එක අච්චුවකින් හදපු කොකිස් වගේ කියලද?”

“ඔය කියන ‘ලෙවල්’ කීයක් තියෙනවද?”

“ඒකට උත්තරයක් ඕන නැතිබව ඔබතුමාලා දන්නවා. දෙවියෝ ඔක්කම සම තත්වේ හිටියත්, ලෙවල් සීයකට බෙදිලා තිබුනත් ඔබතුමාලත් මමත් අතර තියෙන සම්බංදේ වෙනස් වෙන්නෙ නෑ ….. දේශපාලන පක්ෂ වගේ අපි එක එක්කෙනාගෙ ‘අනුග්රාහකයෝ’ හොරකම් කරන්න උත්සාහ කරන්නෙ නෑ - අපෙ ලොක්කෝ ඒකට ඉඩ දෙන්නෙත් නෑ”

මාමා ඇස් දල්වාගෙන අප්පුහාමිගෙ කතාවට කන් දීගෙන හිටියේ බුද්ධිමත් ළමයෙක් ශූර ගුරුවරයෙකුට කන් දෙනවා වගේ. මේ වගේ සාකච්චාවක් මීට ඉස්සර නොතිබුන නිසා මාමා බැලුවේ අවස්තාවෙන් ප්රයෝජන ගන්නයි - ‘දෙවියෝ’ වැඩ කරන හැටි තේරුම් ගන්නයි. අයියටයි මටයි ඒ තරම්ම කුතුහලයක් තිබුනෙ නෑ. මට ඕන මගෙ නිලංත ප්රශ්නෙට උත්තරයක් විතරයි.

“ඔය කියන ලොක්කොද දෙවියෝ පිලිපදින නීති රීති එහෙමත් හදලා තියෙන්නේ?”

“තවත් අනවශ්ය ප්රශ්නයක්…. සමහර ආගම්වල තියෙනවා නේද ලෝකෙ මැව්වෙත්, ඒක පවත්වාගෙන යන නීති රීති සදා දුන්නෙත් දෙවියෝ කියලා? හ්ම්…? ඔබතුමාලට හොඳටම විශ්වාසද ඒක හරි කියලා? උඩ දාන ගල්කැටයක් ආපහු පොලවට වැටෙන්නේ දෙවියෙක් හදපු නීතියක් නිසාද?.... මහත්තයලා හිතාගන්න දෙවියෝ වශයෙන් අපෙ පැවතීමත් අපි කරන දේත් පාලනය වෙන්නේ සොබාදහමේ නීති වලින් කියලා - ගල්කැට බිම වැටෙන්නෙත් මම ටිකිරිබංඩගෙ රූපය ආරූඩ කරගන්නෙත් එකම නීති පද්දතියෙන් - සොබාදහමේ නීති….”

යමක් නොකියා මේක අතහරින්න මට අමාරුයි.

“ඒ කියන්නේ නවීන විද්යාව බොරුද? තාපගති විද්යාවේ එන්ට්රොපි නීති අනුව හොල්මන් වැනි දේ නෑ කියලා ඔප්පු කරන්න පුළුවන්! නමුත් අප්පුහාමී හොල්මන්, දෙවියෝ වගේ දේ ගැන කතා කරන්නේ ඒවා සාමාන්ය ස්වභාවික දේ හැටියට!”

අප්පුහාමී පලවෙනි වරට කට පුරා හිනාවුනා - ටිකිරිබංඩා කිසි දවසක නොකරන විදිහට.

“ඇති දෙයක් නෑ කියලා ඔප්පු කරන්න පුළුවන් තර්කයක ලොකූ හිලක් තියෙන්න ඕන! නේද? ….හ්ම්…? මහත්තයට ඕන නම් මම හොල්මනකට දැන් එන්න කියන්නම් මෙතෙන්ට එන්ට්රොපි නීති කෙලින්ම ඒ අයත් එක්කම කතා කරගන්න! ……….. හැබැයි ඒ අය මොනවා කියයිද දන්නෙ නෑ මහත්තයා ඒ අය නෑ කියලා ඔප්පු කරොත්!”

අප්පුහාමී හයියෙන් හිනාවුනා. මාමටවත් අයියටවත් මටවත් කියන්න දෙයක් හිතාගන්න අමාරුයි.

“ඔබතුමාලා හිත නරක් කරගන්න එපා දන්න විද්යාව සම්පූර්න නැතිවීම ගැන. ලෝකේ තියෙන, සිදුවෙන දේවලින් සියයට කීයක්ද විද්යාවෙන් සම්පූර්නයෙන්ම වටහාගෙන තියෙන්නේ? බොහොම පොඩ්ඩයි. ඒක විද්යාවේ වැරැද්දක් නෙවෙයි - අසම්පූර්ණ කමක් විතරයි….. ඔබතුමාලත් අපිත් දෙගොල්ලම සොබාදහමේ උපාංග. වෙනස අපි දුවන්නේ වෙන පීලි උඩ”

දැන් අප්පුහාමිගෙ කටහඬ මෘදුයි, කාරුණිකයි.

“මහත්තුරුන්ට කරදරයක් නම් මම අයින් වෙන්නම්, ආයෙ හමු නොවෙන්න. මගෙ හිතේ කිසිම කහටක් නෑ එහෙම තීරණයක් ගත්තොත්”

මාමා කතාකලේ අපි තුන්දෙනා වෙනුවෙන්ම.

“අපි නොදරුවෝ වගේ, නොදන්න දේ වලට ඇඟිලි ගහනවා - අපෙ උඩඟුකම නිසා ඔබතුමාට නිසි ගෞරවයක් නොපෙන්වීම ගැන සමාවෙන්න අපිට. ඔබෙන් අපිටත්, සමහරවිට අපෙන් ඔබටත්, උදව් උපකාර ලබාගන්න පුළුවන් කියලා මම හිතනවා. දැනටමත් ඔබතුමා අපිට බොහෝම උදව් උපකාර කරලා තියෙනවා…. මම කැමතියි තවදුරටත් සහයෝගෙන් වැඩ කරන්න … නිසි ගෞරව සමග…”

අප්පුහාමී නැවත හිනාවෙලා දකුනු අත ඉස්සරහට දැම්මා.

“ශේක් හෑන්ඩ්ස්?”